විජයග්‍රහණයේ සැමරුමත් එක්ක අපි හිතන් ඉන්න බොරු මත පහක්.





01. විජයග්‍රහණයේ සැමරුම කියන වචනය 
අද වෙනකොට ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව එල්.ටී.ටි.යි එක පරාජය කරපු දවස හඳුන්වන්න හැමෝම වගේ පාවිච්චි කරන්නේ විජයග්‍රහණයේ සැමරුම කියන වචනය. ඒක නිසා ගොඩක් අය හිතාගෙන ඉන්නවා විජයග්‍රහණයේ සැමරුම කියල කියන්නේ LTTE එක පරාජය කරපු දවසට කියන තනි වචනය කියල. ඒ වචනේ තේරුම මොකක්ද කියන එක අපි ගොඩක් අයගෙන් අහල බැලුව සමහර අය ඒ වචනේ තේරුම දන්නේ නෑ වගේම තවත් සමහරු දීපු උත්තර වල තිබුනේ LTTE එක පරාජය වෙච්ච දවස, අපි දිනපු දවස, බෝම්බ පිපිරෙන එක නැවතුන දවස වගේ දේවල්. එත් ඇත්තටම ඒක මේ දවස සමරන්න දාගත්තු වචනයක් විතරයි. විජයග්‍රහණය කියල කියන්නේ විශිෂ්ඨ ජයග්‍රහණය කියන එක. ඇත්තටම බැලුවොත් අපි රටක් විදිහට ඇත්තටම ඔය කියන විශිෂ්ඨ ජයග්‍රහණය ලබන්නේ කවදද.? යුද්ධය ඉවර කල කියල අපි ඔය කියන විශිෂ්ඨ ජයග්‍රහණය ලබන්නේ කවදද..? අපිනම් හිතන්නේ රටක් විදිහට ආර්ථික, සමාජීය, සංස්කෘතික අතින් අපි දිනපු දවසට අපිට ඇත්තටම විජයග්‍රහණයේ සැමරුම
සමරන්න පුළුවන් වෙයි කියල. හැබැයි ඒකට තව කොච්චර කාලයක් ඉවසන්න වෙයිද කියන එකනම් අපිට හරියටම කියන්න බෑ මොකද අපි තවම සංවර්ධනය වෙමින් පවතින රටක් නේ. 

02. "බෝම්බ පිපිරෙන එක නවත්තුවනේ, ප්‍රභාකරන් මරුනනනේ,දැන් අපිට සතුටුයි නේ.
විජයග්‍රහණයේ දිනය සමරන්න ඕනි කියල ෆේස් බුක් එකේ ජනමාධ්‍ය වල කෑ ගහන ගොඩක් අයගෙන් ඇයි අපි විජයග්‍රහණයේ සැමරුම කියල එකක් කරන්නේ කියල ඇහුවම එයාල හරිම ආඩම්බරෙන් දෙන උත්තරේ තමයි. " බෝම්බ පිපිරෙන එක නවත්තුවනේ, ප්‍රභාකරන් මරුනනනේ,දැන් අපිට සතුටුයි නේ..  කියන එක. හැබැයි රජෝ ප්‍රභාකරන් මරුන කියල හරි , බෝම්බ පිපිරෙන එක නැවැත්තුව කියන එකෙන් හරි කියවෙන්නේ නෑ අපි විජයග්‍රහණය කළා කියල එක. එකෙන් කියවෙන්නේ යුද්ධය ටික කාලෙකට හරි නැවතුනා කියන එක විතරයි. තේරුම් ගන්න පහසු භාෂාවෙන් කිවුවොත්  හරියටම වෙලා තියෙන්නේ යුද්ධෙන් එක පිලක් පැරදුනා කියන එක විතරයි.  ඒක නිසා වැස්ස නැති කාලෙට හරිම සතුටෙන් නට නටා හිටපු පළගැටියෝ වගේ අපිටත් මෙහෙම නට නටා ඉන්න වෙන්නේ වැස්ස ආයෙත් එනකං විතරයි කියන එක අපි මතක තියාගන්න ඕනි. එහෙම කියනකොටම ගොඩක් අයට ඊළඟ කියවෙන දෙයක් තමයි ඊළඟ බොරු මතය. 
 03." එකනේ අපි කියන්නේ ආයෙත් කොටි නැගිටිනවා කියල"
පළගැටියගේ කතාව කියවනකොටම සමහරුන්ට හිතෙන්න ඇති. එක තමයි අපි කියන්නේ "කොටි ආයේ නැගිටිනවා කියලා " නෑ නෑ මහත්වරුනි අපි කියන්නේ ආයෙමත් නැගිටින්නේ කොටි නෙවෙයි. අයෙමත් අපි ඇහැරවා ගන්නේ, අහරෙනකන් බලන් ඉන්නේ යුද්ධයක් කියල. මොකද ඕනිම රටක යුද්ධයක් අවසන් වුනාම ඒ රටේ ඉන්න ජනතාවගේ මානසිකත්වය හදන්න වැඩසටහන් කරනවා. එහෙම නැතුව හැමදාමත් යුධ මානසිකත්වය පවත්වාගෙන යන්න දෙන්නේ නෑ. එහෙම වුනොත් ඊළඟ පරම්පාරවත් සුළු ජාතිය, මහා ජාතිය කියල දෙකක් හදාගෙන ගහගන්න පටන් ගනී. යුද්ධ කරන්න පටන් ගනී. සමහරවිට ආයෙමත් යුද්ධය ඇතිවෙන්නේ LTTE සංවිධානය එක්ක නොවෙන්න පුළුවන්. වෙන නමක් තියන සංවිධානයක් එක්ක වෙන්න පුළුවන්. ඒක නිසා අපි හිතන්න ඕනි. රටක් විදිහට අපි එවැනි යුද්ධයක් ආයෙමත් ඇති නොවෙන්න අපි මොකද කරන්න ඕනි කියල. එහෙම නැත්තං අපිට පුළුවන් යුද්ධයක් ඇතිවෙන දවස වෙනකං හැම අවුරුද්දකම විජයග්‍රහණයේ සැමරුම සමරන්න හරිම ආඩම්බරෙන්. 

04. "යුද්ධය කලේ මහින්ද මහත්තයා. නෑ නෑ.. යුද්ධය භාගයක් ඉවර කරලා දුන්නේ රනිල් මහත්තයා. නෑ.. යකෝ චන්ද්‍රිකා මැඩම්.
විජයග්‍රහණයේ සැමරුම ඉහලින් සමරන්න ඕනි කියල කියන ගොඩක් අය එකේ අයිතිය හැම වෙලාවකම ලංකාවේ දේශපාලන නායකයන්ට දෙන්න උත්සහ කරනවා. මොකද අපි හැමෝම හිතාගෙන ඉන්නවා යුද්ධය කරන්නේ මේ දේශපාලන නායකයෝ ටික කියල. ඒ මතය ගොඩක් දුර ගිහින් සමහර විට මානසික රෝගයක් වෙලා අන්තිමේට හිතෙනවා මේ රට අයිතිය තියෙන්නෙත් දේශපාලන නායකයන්ට කියල. ඒක මේ මානසික ප්‍රශ්නයේ ඉහලම තැනක්. ඒ විදිහට ඒ මානසික ප්‍රශ්නය උත්සන්න වුනාම ගොඩක් අය මෙලෝ සිහියක් නැතුව දේශපාලන පක්ෂ වලට මැරෙන්න හදනවා. තවත් සමහරු අපිට වුන් මොක කලාම මොකද අපි ඡන්දයක්වත් දාන්න යන්නේ නෑ අපිට මොකටද ඔය දේශපාලනේ උන්ටම ගිය රටනේ කියල සද්ද නැතුව ඉන්නවා. හැබැයි නෝනාවරුනි, මහත්වරුනි, එක දෙයක් මතක තියාගන්න ඕනි. අපිට මෙච්චර කාලයක් වරදුනෙත් එකම තමයි. මේ යුද්ධයට එයාල ඉහල ඉඳන් එක එක ප්‍රමාණෙන් නායකත්වය දුන්න කියන එක්ක ඇත්ත. හැබැයි එහෙම කියල එකේ තනි අයිතිය එයාලට දෙන්න බෑ. මොකද ඒක තමයි එයාගේ වගකීම, එකට තමයි අපි එයාලව පත්කරලා යවල තියෙන්නේ ඒ වෙනුවෙන් අපි ගෙවන බදු වලින් අපි කොච්චර පහසුකම් එයාලට දීල තියනවද..? මේ යුද්ධය වෙනුවෙන් සාමාන්‍ය මිනිස්සු වෙච්ච අපි කොච්චර කැපකිරීම් කලාද..? දෙපැත්තේම මරුනේ සාමාන්‍ය ජනතාව, කොච්චර කාලයක් අපි බඩේ පටි තදකරගෙන හිටියද..? එක නිසා අපි හැමෝම ලාංකිකයෝ විදිහට මේ වෙලාවේ ලංකාවේ දේශපාලකයන්ට තියන අනියත ගවුරවය නැති කරගන්න ඕනි. නැත්තම් වෙන්නේ දුෂණය කරන්න ගිය කෙල්ලෙක්ව බොරගත්ත මනුස්සයෙකුට ගරු කරනවා කියල ඒ කෙල්ලව ඇතිවෙනකන් දුෂණය කරන්න ඉඩ දෙනවා වගේ දෙයක්.
05. ඔන්න කොටියනම් ඉවරයි.. හැබැයි මම අද කිවුවා කියල මතක තියාගනින්.. ඊළඟට ඉතිං මුස්ලිම් කාරයා තමයි රට අල්ලන්නේ.
මේ සැමරුම සමරන ගොඩක් අය ඊළඟට කියන කතාවක් තමයි ඕක. සමහර වෙලාවට එහෙම කියන්න හේතුත් අහරිම ලස්සනට කියන්න මෙහෙම කියන අයට පුදුම හැකියාවක් තියෙන්නේ.   එහෙම කිය කියා සමාජ ජාලවල විස්තර පල කරන්නත් මේ අය අමතක කරන්නේ නෑ. හැබැයි එකක් මතක තියාගන්න මෙහෙම කියල තමයි අපි LTTE කියල සංවිධානයක් හදාගන්නත් ඉඩ හදල දුන්නේ. අපිටනම් හිතෙන්නේ දැන් අපි කරන්න ඕනි අපි සිංහල, අපි මුස්ලිම්, අපි දෙමල  කියල බෙදිලා ඉන්න එකවත්. එක එක ජාතීන්ට බැන බැන ඉන්න එකවත් නෙවෙයි. අපි දැන් කරන්න අවශ්‍ය වෙලා තියෙන්නේ අපි ශ්‍රී ලාංකික කියල හිතල  වැඩ කරන එක. ඒ වෙනුවෙන් අවශ්‍ය වැඩ පිළිවෙල හදන්න බල කරන එක.
 සමහර විට ඔබට තිබෙන්නේ මිට වඩා වෙනස් අදහසක් වෙන්න පුළුවන්. එහෙනම් ඒ ගැන පහතින් කරන්න. එහෙමත් නැත්තම් අපිට මඟ ඇරුණු කරුණු මොනවා හරි තියෙන්නත් පුළුවන් ඒ ගැනත් පහතින් කරන්න. තවත් කෙනෙක් මේ ගැන දැනුවත් වෙන්න ඕනි කියල හිතනවානම් කරන්න. 
 අන්තිමට මොනවා වුනත් අපිට අහන්න තියෙන්නේ රටක් විදිහට අපි විජයග්‍රහණයේ සැමරුම ඇත්තට සමරන්නේ කවදද කියන එක.
- සටහන කළං - 

Share:

0 comments

Search This Blog

Facebook

Advertise

Popular Posts

About

Blogger templates